Saturday, 21 January 2017

පොළොන්නරුව හා මැණිකේ නැන්දගේ ආදරය


මහවැලි ව්‍යාපෘතියට අනුබද්ද කුඩා ව්‍යාපෘතියක ඔඩිට් එක ලැබුණාම ඔය පොළොන්නරුව, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය, දිඹුලාගල වගේ හතර දික් බාගෙම කරක් ගහන්න ලැබෙනවා කියල දැන ගත්තාම ලැබුණ සතුට කියන්න වචන නෑ. ගොඩක්ම සතුට ගෙදරින් එලියට පැනල ඉන්න ලැබෙන එකට. සති අන්තයට විතරක් ගෙදර එන එක ගෙදරින් වැඩි සැලකිලි ලබන්නත් හොඳ හේතුවක් උනා. ගමින් ගමට ගිය මේ ගමනේදී මට මෙන්ම දින්නාටත්, තරියාටත් අමතක නොවන මතකයන් එකතු කරන්නට 'රිදී පොකුණේ' ඇයට පුළුවන් උනා. ඒ 2007 දී...

මැදිරිගිරියේ Hub එකේ වාහනයකින් 'රිදී පොකුණට' ගිය අපි තුන්දෙනාට පොළොන්නරුවට හුරු කර්කෂ දූවිලි සුළඟ වෙනදාටත් වඩා තදින්ම දැනුනේ අනිත් ගම්මාන වලට වඩා ඉතාම දුෂ්කර නිසා. අපේ මුල්ම අදහස උනේ මේ ව්‍යාපෘතිය මේ ගම්මානයට ආපු ඒකම ලොකු දෙයක් ලෙසටයි. සමිතියේ තනතුරු දරන මැදි විය ඉක්ම වූ පිරිමි 03 දෙනෙකු අපි එනතුරු මග බලන් හිටියේ හරියට අපේ බෑග් ටික උස්සනටම ඉන්නවා වගේ. (ගමකට ගියාම දවස් 02-03 ක් ඉන්න වෙන නිසාම දත් බුරුසුවේ ඉඳලම දාගෙන යන්නේ) 'රිදී පොකුණට' එනකොට 10.30 ට විතර ඇති. මමයි දින්නයි පොඩ්ඩක් පැත්තකට වෙලා දුම්වැටියක් පානය කරන විටත් තරියා අර පිරිමි 03 දෙනාත් එක්ක දැනටමත් උගේ සුපුරුදු කතාව පටන් අරගෙන තිබුණා. ගමට ආසන්නයෙන් තිබුණ කුඩා පාසලක පංති කාමරයක වාඩි උනේ වැඩේ පටන් ගන්න හිතාගෙන. දෙසැම්බර් නිවාඩුව නිසා මේ පුංචි පාසල වැඩ කරගන්න සුදුසු පරිසරයක් නිර්මාණය කලා. මේ පුංචි ගමෙන් මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද? ඈතින් පන් මල්ලක් හා කේතලයක් රැගෙන එන විටයි මුලින්ම අගේ රුව මම දැක්කේ.  මැදි විය ඉක්මවා තිබුණ අගේ පියකරු මුහුණ මට අද වගේ මතකයි.

"අයියේ මේ මහත්තයලට තේ ටිකක් බීල ඉන්න කියමු"
"මහත්තයලා තේ ටිකක් බීල හිටියා නම්..."
"මේ කාෂ්ටකේ හැටියට තේ ටිකක් නොබී පුළුවනැ...තේ බීලම වැඩ පටන් ගමු මහත්තයෝ..."

මුලින්ම අතට හම්බ උනේ අල්ලක් තරම් ලොකු කැවුමකි. ගිය හැම ගමකින්ම වගේ ලොකු කැවුමක් එක්ක තේ බොන්න ලැබුන නිසා වැඩිය හිතන්නේ නැතුවම කවුමට හිත යොමු කලා. ඔය අතරදීම ඇය හකුරු කෑලි කිහිපයකුත් එක්ක තේ කෝප්ප ටිකත් ලං කලා.

"මහත්තයලා වැඩිය කලබල වෙන්න එපා. ඔය ඉන්න විදිහටම ඉන්න."

ඈ කියපු දෙයින් අපි ඔක්කොම අගේ මුහුණ බැලුවත් ඇගේ දෑස් රැඳී තිබුනේ ඈතින් නවතා තිබෙන තද නිල්පාට පොඩි වැන් එකටයි. අඳුරු විදුරු යන්තමින් පහත්කර අප දෙස බලාසිටින දෑස් හතරක් අපිට යන්තමින් දැකගන්න පුළුවන් උනා. තත්පර 10 ටත් අඩු කාලයකින් වහනය ඉවතට ගියාට පසු ඇසිය යුතුම ප්‍රශ්නය තරියා ඇසුවා. 

"ඔය මහත්තයෝ කරුණාගේ කට්ටිය. හැම දොහකම වගේ මේ වෙලාවට එනවා නොවැ. හැබැයි කිසි කරදරයක් නම් නෑ. දැන් දෙපිලකට වෙලා නොවෑ.."

පුංචි බයක් හිතට දැනුනත් වැඩිය කලබල නොවුනේ මල්ටි බැරල් එලිය ඈතින් දැක දැක සද්දේ අහගෙන නිදා ගත්ත ගම් වලටත් අපි ගියපු නිසා. පුරුදු විදිහට 'පානිය ජල කමිටුවේ' පොත් ටික පෙරලා ගත්ත මම වැඩට බැස්සා. යලිත් ඇයව දුට්වේ දහවල් කෑම ටික සුපුරුදු පන් මල්ලටම දාගෙන ඈතින් එන විටයි. කෑම කන අතර තුරේදී ඇය අපට කිව්වේ ඇගේ ගෙදර නවතින්න පුළුවන් බවත්, අපේ මලු ටික පිරිමි 3න් දෙන අතේ එවන්නටත්ය. ටිකක් හවස් වන තුරු වැඩ කර ඇගේ නිවසට සභාපතිතුමාත් එක්ක යන විට ඈ රාත්‍රී කෑම වෙල පිළියෙල කරමින් උන්නා. අපට ඉන්නට කාමරයක් ලෑස්ති කර තිබු ඇගේ මුල්ම ප්‍රශ්ණය උනේ ඇළට යනවද නැත්නම් ළිදෙන් සොදනවාද යන්නයි.

"මේ රාත්‍රී ජාමේ ඇළට යන්න එපා මහත්තයෝ. සර්පයෝ අඩියක් අඩියක් ගානේ. දැනට ළිදෙන් හෝදගන්න. හෙට උදේට මාත් එක්කම යතහැකි ඇළට".

ඇගේ බසට කීකරු වී ළිදෙන් ඇඟ සෝදා සරමට බැස ගත් අපි තුන් දෙනා ඇයත් සමග කුස්සියේදී පුංචි ආගිය කතාවකට එකතු උනේ තවමත් ඇය රාත්‍රී ආහාර වේල පිළියෙල කරමින් උන්න නිසා. උණුම උණු තේ එකක්ද අතැතිව යන මේ කතාබහේදී ඇය අගේ ජීවිත මතක් බිඳක් දිගහැරියා. තුන් දරු මවක් වන ඇගේ සැමියා මිය යන්නේ අවුරුදු පහළොවකට පෙරයි. වැඩිමහලු පිරිමි දරුවන් දෙදෙනෙකු හා ගැහැණු දරුවෙකු සිටින ඈට අදට ඇයගාව කවුරුත් නැති බවත් දරුවන් තුන්දෙනාම කොළඹ රස්සාවක් කරන නිසා කුඹුුරු ටිකත් අඳෙට කරනවා කියා ඈ දුක් මුසු උනා. 

පසුදා උදේ මම ඇහැරෙනකොටත් දින්නයි, තරියයි ඇඳේ හිටියේ නෑ. කුස්සිය පැත්තෙන් ඇහෙන කතාව නිසා මාත් ඒ පැත්තට ගියා. මුන් දෙන්නා කුස්සියේ පඩියේ වාඩිවෙලා තේ බොනවා. මමත් බිත්තියට හේත්තු කරලා තිබුන හිරමණේ පාත් කරලා තේ එකත් අරන් වාඩි උනා. උපතින්ම 'කයිතන්' වූ තරියා අපිට පුංචි වත් චාන්ස් එකක් නොදී මැණිකේ නැන්දත් එක්ක කතාව. මැණිකේ නන්දා උදේට 'ලැවරියා' හදමින් උන්නා. කඩේ ගන්න තියෙන ඒවාට වඩා දෙගුණයකටත් වඩා ලොකු උණු 'ලැවරියා' අපි කන හැටි ඈ ආශාවෙන් බලන් උන්නේ රහට කෑමක් දී ලබන සතුට උපරිමයට විඳිමින්. එය දෙගුණ තෙගුණ උනේ අපි එහි රසත් ගුණත් වර්ණනා කල නිසා. ඇත්තටම ඒ තරමටම ඒවා රහයි. නම් මතක තියා ගන්න බැරි නිසා දින්නට ලොකු මහත්තයත්, තරියට සුදු මහත්තයත්, මට පුංචි මහත්තයත් ලෙසට ඈ අලුත් නම් දුන්නාය. මගේ මව නොමැති බව දැනගත් ඈ මට පිටුපා හැට්ට කරින් දෑස් පිසදා ගත්තාය. ඇය පසුපසින් වැටි ඇළට යන විට ඇය කිව්වේ ඇය හරි උජාරුවෙන් මේ විදිහට දරුවන් එක්ක කුඹුුරට යන්නට ආශා බවත්ය.. නැවතත් සිය දරුවන් ළඟ නොසිටීම ගැන කියමින් ඕ දුක් උනාය. ඇළට යන මග දිගට ඈ මොන මොනවදේ කියමින් ගියත් මට කිසිවක් නෑසුණේ, පැය 24ටත් අඩු කාලයකින් දැන හඳුනාගත් අපිට ඇය මෙතරම් ලෙන්ගතු වන්නේ, ඇසට කඳුළු උනන්නේ කොහොමද කියා සිතමින් ගිය නිසාය.  ඇළ අසල ගමේ ගැහැණු, පිරිමි කිහිප දෙනෙක් නාමින් රෙදි හෝදමින් සිටියා.

"කවුද අක්කේ මේ මහත්තොරු"
"මේ නංගියේ සමිතියේ පොත් බලන්න ආපු මහත්තොරු. මගේ ගෙදර නැවතිලා ඉන්නේ"
"මම හිතුවේ අක්කේ බඩ මහත, බෝතල් අඩි කණ්නාඩි දාපු මහත්තොරු එයි කියල ඔය පොත් බලන්න. මටත් ආරංචි උනේ ඊයේ දවල් කොරේ ඔඩිට් එකෙන් පැන්නයි කියලා"
" එක නෙනේන්නම් නංගියේ, මේ එහෙම පැනිල්ලක් නෙමේ"
"මැදිරිගිරියේ ඉඳලා එන අර නන්ගිලත් නවතින්නේ අක්කලාගේ ගෙදර නොවැ"
"අපෝ නංගියේ එවුන් ගැන නම් කතා කොරලා වැඩක් නෑ. නෝනා හාමුලා වගේ තේ එකත් අතට හදල ගෙනෙහින් දෙන්න ඕන. එකට මේ මහත්තොරු කොළඹ පළාතේ. කුස්සි පඩි කෑල්ලේ වැඩි වෙලා මාත් එක්ක හරි හරියට කතාව. මේසෙට කෑම අරින්න එපා කියලා මාත් එක්ක පොරේ දැම්මා. එහෙම කියලා කොහොමැයි. බලෙන් මගේ පොල් බෑය උදුරන් ගාලා දුන්නා නංගියේ. රාත්‍රියේ ඇළට එන්න තැනුවා. සර්ප විමනේ නොවැ. උදේට එක්කන් එන්න පොරොන්දුවට නවත්ත ගත්තේ"

මුවෙන් නොකිව්වට ඇයගේම දරුවන්ට වගේ මේ ආගන්තුකයන් තුන්දෙනාට ඇය පුළුවන් උපරියෙන්ම සැලකුවා. රස කෑම වේල් කිහිපයක්ම ඇය අතින් නිම උනා. ඇළ ලඟදි හමුවුන හැම කෙනෙකු එක්කම ඈ අපේ ගුණ කිව්වා. අපිත් පෙරලා ඇයගේ සත්කාර අගය කරමින් ගම්මුන් හා කතාකලා. ඒ හැම මොහොතකම ඇයගේ දෑස් බොඳව තියෙනු දුටුවා. තුන්වන දින හවස ඇයට සමුදීම ගොඩක්ම දුෂ්කර උනා. අපි තුන් දෙනා එක පෙලට ඇගේ දෙපාමුල නමෙද්දී මෙතෙක් වෙලා වාවා උන් කඳුළු දොරේ ගැලුවා. පුංචි හාදුවක් නළලත තැම්පත් කරමින් ඇගේ සෙනෙහස අපහට පෑ ඈ වචනයක් වත් නොකියා ගෙතුලට ගියත් ආපහු එලියට ආවේ නෑ. 

දරුවෙක් ගෙදර පැමිණි දිනයකදී ඒ ජංගම දුරකථනයකින් අපි තුන් දෙනාට කතා කරන්නට ඈ අමතක නොකලා. ඒ හැම වතාවකදීම අඩුම තරමේ දෙතුන් වතාවක් වත් ඇගේ හඬ බිඳී ගියා. ඈ ඇගේ හඬින් ඒ හැම වතාවකම අපේ දෑස් බොඳ කළා. 2013 යම් දිනක දින්නගෙන් ලද කෝල් එකකින් ඇගේ අභාවය තහවුරු කළා. දුරු රටක සිටි ඇගේ පුංච් මහත්තයට එන්නට නොලැබීම ගැන ඇගේ හිතේ පුංචි වත් කහටක් නැති බව දන්නවා මැණිකේ නැන්දේ. ඒ සෙනෙහසට අදටත් නමක් නැ. එත් අඩුවක් නොවී දැනුනා හොඳහැටි මතකයි.

27 comments:

  1. දැනෙන සටහනක් ෆිලෝ. තමන්ගේ නෑයන් පිට මිනිසුන් වගේ හැසිරෙන සමාජෙක මැණිකෙ නැන්දලා වගේ උදවියත් තාමත් ඉන්නවා. කොහොම වුණත් මේක කියවගෙන යද්දී ඒ පරිසරය මට මැවී පෙණුනා. කවි පන්තියකටත් අපූරු තේමාවක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුමි. ලස්සන කවි පන්තියක් ලියමුකො දුමි ඉතිං...

      Delete
    2. ඔව් ෆිලෝ. මට මේ සටහන ඒ තරමටම හිතට වැදුණා. ඉතින් ෆිලෝගෙන් අවසරයක් ලැබුණු හින්දම මම ඒ අදහස අරන් කවියක් ලියන්නම්. සඳුදට (23) මගේ පෝස්ටුව මැණිකෙ නැන්දා ගැන ලියවුණු කවියක් වේවී. ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
    3. මමයි ස්තුති කරන්න ඕනා දුමි මගේ පොස්ට් එකට කවියක් ලිවිම ගැන...

      Delete
  2. හිත බරවෙන පෝස්ට් එකක්. සමාජයේ මිනිසුන් හා අවබෝධයෙන් ජීවත්වීමත් ආර්ට් එකක් ෆිලෝ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරුණ. අදහස හරි වටිනවා...

      Delete
  3. අනිත් අයට කොහොමද දන්නේ නැ මචං , මට කියවන්න අමාරුයි ...පත්තරයක් උඩට වැලි හලලා කියවනවා වාගේ

    ReplyDelete
    Replies
    1. වෙනස් කරන්නම් අටම්. ස්තූතියි අදහසට...

      Delete
  4. මරු කතාවක් බන්. මට එක පාරක් රෑක කොළඹ පාරක් හොයාගන්න බැරිව වැරදි තැනක බැහල ඉන්නකොට. පාර ගැන අහපු ඔය වගේම අම්ම කෙනෙක් මාව ත්‍රීවිල් එකක දාගෙන නුගේගොඩ ට ගෙනැල්ල දැම්මා.පස්සෙ මගෙ නම්බරෙත් දීලා පාර වැරදුනොත් ආයෙත් කෝල් කරන්න කිව්වා. මට මෑතකදිත් ඒ අම්මා කතා කරා. එදා මන් ඒ ත්‍රීවිල් එකකට කතා කරන්න යනකොට. පුතාගෙ මුහුණ අහිංසක වැඩ්යි. ඒ නිසා වටයක් ගහලා එක්කන් යයි කියලා. මගේ අම්මා වගේ මාත් එක්කම ගිහින් පාරේ ගිය ත්‍රීවිල් එකක් නතර කරලා.මාව නුගේගොඩට දැම්මා. ඒ අම්මා ඊට පස්සෙ බස් එකේ ගෙදර ගියා.ත්‍රීවිල් එකක යන්න කිව්වට ගියෙත් නෑ. මන් හින්දා පැය දෙක තුනක් කැප කරා.සමහර මිනිස්සු පට්ට ස්මාට් බන්.

    ReplyDelete
    Replies
    1. තාමත් එහෙම මිනිස්සු එක්කෙනෙක් දෙන්නේක් ඉතිරි වෙලා ඉන්නවා රෝමා. කාරිය බහුල නිසා මිනිස්සුන්ට වෙලාවත් නැ තව කෙනෙක්ගේ මුණ දිහා වත් බලන්න. උබේ මුණ අහිංසක වැඩි කිව්වද? කළුවරේ නිසා වෙන්න ඇති...හික් හික්..

      Delete
    2. අනේ පලයන් යන්න :-)

      Delete
  5. මං "මැණිකේ නැන්දාව " කියවන්නට කලබල උනා වැඩියි.... දුමී ගේ පොස්ට් එක කියෙව්වම මෙහේ එන්නම හදිස්සි උනා.... දැන් ඉතිං ඔෆිස් එකේ අයගෙන් , කඳුළු හංගගන්න විදිහක් මට නැ...... ජිවිතේ දැනෙන්නේ මේ වගේ ලෙංගතු කම් එක්ක..

    ReplyDelete
    Replies
    1. ඇත්ත එරන්දි. හිතට දැනෙන මිනිස්සු අතේ ඇඟිලි ගානට වඩා ලඟින් ඉන්නවානම් වාසනාවන්තයි. සමාවෙන්න ඇඩේව්වට.

      Delete
  6. රිදී පොකුණෙ මම වැඩ කරල තියනව ෆිලෝ..සෙවණපිටියෙන් දකුණට හැරිල නේද ගම්මානෙට පාර තියෙන්නෙ මහ ඇළ දිගේ?

    හැබැයි මම එහෙ හිටියෙ ඔය ගම්මාන , පාරවල් ඇළවල් එහෙම හදන කාලෙ ..අසූ පහේ විතර, මැණිකෙ නැන්දල ඒ කාලෙ හිටියෙ නෑ....හෙහ්,හෙහ්, අසූ අටේ වගෙ තමයි එහෙට ඔය මැණිකෙ නැන්දල වගෙ කට්ටිය ගෙනල්ල පදිංචි කලේ.

    ඒ මිනිසුන් ගැහැණු අතරත් ඔය වගෙ රත්තරං වටින මිනිස්සු අනන්ත හිටිය. ඒ හැම දෙනෙක්ම මගෙ ඇස් ඉස්සරහ පෙරහරක් වගෙ හැදිල ගියා උඹේ මේ සටහන කියවද්දි.මගෙත් ඇස් තෙත් උනේ ඉබේටම...

    ReplyDelete
    Replies
    1. හරියට හරි රවී. මගේ මතකත් අලුත් උනා රවීගේ කතාවෙන්, සැහෙන්න කල්නේ දැන්. දවසක ආපහු යන්න ආසයි. බොහොම ස්තූතියි රවී අදහසට.

      Delete
    2. රවීටත් ෆිලෝටත් මේ කියන්නේ. ඔය සුන්දර මිනිසුන් ඉන්න ගම්මානෙ ගැන සටහනක් ලියන්න බැරිද ? ආසයි කියවන්න.

      ජයවේවා!!!

      Delete
    3. උත්සහ කරන්නම් දුමි... නම් ගම් නොලියා ලියන්නම්. පෞද්ගලිකත්වයට බාදා වෙයිද කියලා හිතුනා...

      Delete
  7. දුමීගේ කවිය කියවලයි ආවේ... හිතට දැනුන කතාවක්...

    ReplyDelete
  8. දුමීගේ කවිය කියවලයි ආවේ... හිතට දැනුන කතාවක්...

    ReplyDelete
  9. Replies
    1. බොහොම ස්තූතියි කොළොම්පුරේ...

      Delete
  10. දුමී පෙන්නපු පාරදිගේ මෙහෙට ගොඩ උනේ.පපුව හිරවෙලා ඇස් දෙක දැවිල්ල ගත්තා.මිනිස්සුන්ගේ නොහොදම අහන දකින කාලෙක මෙහෙම අය ගැන දැනගන්න ලැබෙන එකත් වාසනාවක්.

    ReplyDelete
    Replies
    1. හොඳ මිනිස්සු මතු වෙන්න නෑ නරක විතරක්ම දකින නිසා. ස්තුතියි සඳවතී... ්හිතට දැනුනානම් තාක් දුරකට උත්සාහය සාර්ථකයි කියලා හිතනවා.

      Delete
  11. ඇහැට කඳුලක් ආවා කියවල ඉවර වෙද්දී...සමහර සම්බන්ධකම් වලට නම් නැහැ...ඒ වගේම මෙහෙම මනුස්සකමුත් හැම තැනම නැහැ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත පොකුරු වැහි. එහෙම මිනිස්සු හරි හිඟයි. ස්තූතියි අදහසට ...

      Delete

බලධාරියා සර්වද?

බහුතරයකට තමන් දන්නා දේට එහෙමත් නැතිනම් තමන් විස්වාස කරන්ට දේට පරිබහරින් වෙනත් කෙනෙක් දෙයක් දන්නේ නම් නැතිනම් විස්වාසයක් ඇතිනම්, අනේකාට ඇහුම්...