Friday, 17 April 2020

විදී සරා අඳුරු උපැස් දැරුව ආගන්තුකයන් අතරේ





ජිවිතයේ කිසිවක් හරියට නොවිඳපු උන් මොකක් හරි ක්‍රමයක් හොයා ගන්න ඕනේ ජිවිතේ විඳින්න. අලුත් බලාපොරොත්තු දවසින් දවස එකතු වෙනකොට ඉන් එකක් වත් සඵල කරගන්න බැ කියලා තෙරෙනේකොට හච්චිමක් සද්දෙන් ගිහින් වෙනකෙන් මුණ බැලුවත් ඇති දුක හිතෙන්න, කේන්ති යන්න. ඔන්න එතකොට හිතෙනවා ගහක කොලයක් හෙලවෙන ලස්සන බලලා හරි හිත සැහැල්ලු කර ගන්න. ‘එකාකාරී ජිවත’, ජීවත් වෙන්න පුදුම කට්ටක් කන මිනිස්සුන්ගේ නමේ අගට එකතු වෙන්නේ තමනුත් නොදැනමය. සිනාවක් හොයන්න, සැහැල්ලුවක් හොයන්න අතේ ඉතිරි වෙන සොච්චම බොහොම මදී. මට නැති දේ තවකෙක්ට හොයන්නත් කලින් එහෙමත් නැතිනම් ඉල්ලන්නත් කලින් ඉල්ලන්නේ නැතුවම හම්බ වෙනකොට, ඇයි මට නැත්තේ කියලා තමන්ගෙන්ම අහගෙන හිත දුකින් පුරවාගෙන තවත් එක බලාපොරොත්තුවක් බොඳ උන ඇස් අග්ගිස්සෙන් පපුවට හලා ගන්න එකයි මට නම් ජීවත් වෙනවා කියන්නේ. පැදුරෙන් බිමට වැටෙන්නේ නෑ බං නින්දෙන් හීන දැකලා බය වෙලා ඇහැරුනාට. ඒකත් එක අතකට හිතට සැහැල්ලුවක්. 



උදේට තියෙන එකක් මැදලා ඇගට දාගෙන, රුපියල් 100ක පෙට්‍රල් ගහගෙන පැයක් හමාරක් ගෙවාගෙන කොළඹට වැඩට දුවන එකෙක් මමත්. හවස පහට පහමාරට වැඩ අහවර කරලා එලියට බැහැලා යාළුවොත් එක්ක රවුමක් ගහන සිහිනය සතියට එක දවසක් වත් සැබෑ කරගන්න වෙන්නේ නැතිව තවත් අමතර පැය කිහිපයක් තමන්ගේම හීන වෙනුවෙන් කැප වෙන එක මට අනුව නම් රුපියලක් හරි පර්ස් එකේ ඉතිරි කරගන්න ගහන ගේමක්. ඒක උනුත් දන්නවා. ‘එහෙනම් අපි යනවා බං’ කියන්නේ ‘උබ අදත් එන්නේ නෑනේ’ කියන නෝක්කාඩුවට කියන සමාන පදයට. ඒක ‘උබ නාවට අපි තරහා වෙන්නේ නෑ බං’ කියන්න දරන උත්සහයකුත් හැංගිලා තිබුණා කියලායි මට නම් හිතෙන්නේ. නොගිහින්ම බැරි උන දවසක උබලා එකතු කරපු පිටු ගණන් පරිච්චේදයි ආයේ ආයෙත් බොඳ වෙන ඇස් අග්ගිස්සෙන් මේ පපුවට බර වෙන්නේ. ඒ උබලාගෙන් ඈත් වෙලා මගේ කියන්න කවුරුත් නැති රටක කාමර මුල්ලක.

පත්තු කරගත්ත දුම් වැටිය ඉවර වෙනකන් ‘මැරින් ඩරයිව්’ එකේ වැල්ලවත්ත ඉස්ටේෂමට ලග තැනක මෝටර් සයිකලය නවත්තලා මුහුද දිහා බලාගෙන ඉන්න එක මගේ ජීවිතේ ඇති ඒකාකාරී බව අමතක කරන්නට කිසිම දාක මට ඉඩක් දුන්නේම නෑ. එක පොදියට ගෙදර දුවන්නට පොර කන මිනිස්සු නැති වෙලා කොළඹ පාරවල් පාලුවට යනකොට හෙට්ටි විදියේ පොඩි දෙමල කඩයකින් ඉතිරි උන දෙයක් බඩට දාගන්න ගමන් වරායේ කන්ටේනර් පෙට්ටියක් ඉහලට එසවෙනවා බලන්න මම ආස කලේ යෝධ යකඩ අශ්වයන් බඳු යයි කියාගන්නා දැවැන්ත දොඹකර රැයක් දවාලක් නැතුව දේශීය ආර්ථිකයට දෙන රුකුලම කෙලින් විදියේ මුට්ට කරගසන්නාත් එකතු කරනවා කියලා හිතන්න මට ඕනා කරනවා නිසා වෙන්න ඇති. ඒ නිසාම වෙන්නත් ඇති කෙලින් විදියේ මහා ගොශාව මැදින් එකිනෙකාගේ ඇගේ හැප්පි යන පොදි කන මිනිස්සු දිහා මම පුංචි කාලේ නොතිබුණු ලොකු කාර් තියෙන සෙල්ලම් බඩු කඩ මැදින් ඇවිත් ‘කෙලින් විදියට’ ගොඩ වෙලා හිතට ඇති වෙනකම් බලා ඉන්න ආස කරන්නෙත්. ඒ ලොකු සෙල්ලම් කාර් අයිති නැති උන් පාර හරස් කරලා ගහන විකට් ලෑල්ල පාරෙන් අහකට ගන්නේ ගෙයින් එලියට අඩියක් තිබ්බම පාර අහුවෙන, අම්මා කෑ ගහන්නට කලියෙන් තවත් එක් ක්‍රිකට් අතක් ගහ ගන්නට ඉඩක් නොදෙන්නේ යයි හිතෙන් බනිමිනි.

රටාවකට බිමට අල්ලපු සිමෙන්ති ගල් ඉර එලියට රත් වෙන්නට කලියෙන් අඳුරු උපැස් යුවලකින් මුහුණ හංගගෙන ඒ සිමෙන්ති ගල් රටා මැදින් මගේ කියන්නට එකෙක් වත් නැති දුර රටක ගෙදරට සල්ලි එවන්න වැඩට දුවන, තනි වීම හා හීන පස්සේ දිවීම ඒකම කාසියේ දෙපැත්ත වෙනකොට, රෑට ලැප් එකෙන් ටීවී සිරිස් එකක් බලලා හෙට වැඩ ගැන හිතමින් නින්දට යමින් මේ ගෙවා දමන්නේ තවත් එක් ගෙවුන දවසක හෙටට ඉතුරු කරපු අලුත් බලාපොරොත්තු කියල හිතන්න හිතට බල කරමින්. එහෙව් හැම රෑකම මේ ගීතය හිතට පුළුවන් උපරිමයෙන්ම වධ දෙමින් නොස්ටල්ජියාව මට අමතක කරන්නට පුංචි හිඩැසක් වත් ඉතිරි නොකරන්නේ මට මාවම නැවත නැවතත් මතක් කරලා දෙමින්.





 
                                   

2 comments:

  1. ආත්ම කථනයක් ද

    ReplyDelete
  2. //රුපියලක් හරි පර්ස් එකේ ඉතිරි කරගන්න ගහන ගේමක්//

    එහෙම මනුස්සයා මට සිහිය නැති වෙන්න වැදිච්ච දවසට මාත් එක්ක ආපු යාළුවගෙන්වත් සතයක්වත් නොගෙන පන්දහස් ගණන් වල බිල් ගෙවලා ගියා මතකයි මචං. ඔහොම දේවල් උබේයි මිලියගෙයි ඉතිහාසේ ඕනෙ තරම් තියෙනවා. ඒත් ඔය අන්තිමට කියපු සිද්ධිය මගේ ඔෆිස් එකේ යාළුවා මට නිතරම මතක් කරනවා. මට ඒක පට්ට අමාරු වෙන්නෙ අන්තිම කාලෙදි උබේ ආර්ථිකෙ මන් දන්න නිසා

    අනේ මන්දා බන් මන් මේක උඹලට නිතරම කියන එකක් මන් කියන්නෙ මටම නෙවෙයි. මන් කියන එකා හැදෙන තැන උඹලත් ඉන්නවා. උඹලා නැති උන තැන මමත් නැති වෙනවා.

    ReplyDelete

විදී සරා අඳුරු උපැස් දැරුව ආගන්තුකයන් අතරේ

ජිවිතයේ කිසිවක් හරියට නොවිඳපු උන් මොකක් හරි ක්‍රමයක් හොයා ගන්න ඕනේ ජිවිතේ විඳින්න. අලුත් බලාපොරොත්තු දවසින් දවස එකතු වෙනකොට ඉන් ...