Sunday 18 December 2016

සර්ව ජන ජන්ද බලය



ජන්ද පොලේ නම කිව්වම ඇඹරුණා
ලජ්ජා සිතී කම්මුල් දෙක රතුවුනා
වටපිට මුහුණු මගේ දෙසට හැරවුණා
උපහාසාත්මක දෑසින් දිළිසුණා

මට නොදැනීම මගේ දෑස් තෙත්වුනා
පෙළපතෙහි අරුත හොඳහැටි සිහිවුනා
'සර්ව ජන' වචනේ තේරුම වැටහුනා
වාසගමෙන් මගේ කුලය හෙලිවුනා

Tuesday 6 December 2016

ගිටාරය නම් ඇය



රළු වුවත් හඬ සියුම්
දැනෙයි දැඟිලි තුඩට
මේ රැයෙහි නුබ මගෙයි
වැට බඳී තනිකමට...
මගේ උකුලේ සුව සොයයි
බදා දෝතින් ඇයව
දවා අළු කල හැකිය
ඕ දනිති මගේ හැඟුම්...
ඉඩ හසර දෙවයි ඈ
සරන්නට සිතැඟි ලෙස
දෑස් පිය වුනි සුවට
අඳුරේදිහි අගේ ජවය...
දිනෙන් දින නැවුම් වන
අපේ දෙහදේ බැඳුම
යලි පතමි නුඹේ ඇසුර
නොලඳ සුව ලබන්නට... 

Saturday 3 December 2016

මගේ නොස්ටල්ජියාව

කොළඹ මීගමු පාරේ කොළඹ සිට විනාඩි 40ක පමණ බස් රියේ ගමනකින් ලඟා විය හැකි තදාසන්න ප්‍රදේශයක පිහිටි තරමක ගැමි ගති පැවතුම් යම්තාක් දුරකට අදටත් ඉතුරුකරගත් පිරිසක් ජීවත් වූ ගමක මමද එක් සාමාජිකයෙකි. සුන්දර වෙල් යායක් මගේ නිවසේ නැගෙනහිර දිශාවෙන්ද  එහි ඉතා ඈතින් ප්‍රධාන දුම්රිය මාර්ගයද දිස්වෙයි. හිමිදිරියේ මීදුම අල්ප දිනයක 'සිරිපාදය' මනාව දැකගත හැකි අතර දොහොත් මුදුන් දී නමස්කාර කිරීම පුරුද්දක් කොට ගෙන තිබිණි. මගේ පියාගේ කුඩා කාලයේ මේ වෙල් යාය කුඹුරක්ව පැවතුන අතර අදට එහි කිසිවක් වගා කරගත නොහැකි තත්වයෙන් වල් වැදී ඇත. එම සුන්දර වෙල් යාය මැද දූපතක ස්වරූපය ගත් 'ඉලුක්ගොඩ' නම් ග්‍රාමය, ජීවිතයට එක්කල සුන්දර මතකයන් මෙපමනයි කියා කියන්නට නොහැකි තරම්ය.



අමතර පන්ති නොමැති දිනවල පාසල් ඇරී වෙනදාටත් කලින් ගෙදරට එන්නේ එදා මෙන්ම අදටත් පණමෙන් ලඟින් ඉන්නා යහළුවෝ රොත්තට එකතුවන්නට ආශාවෙනි. එකල්හි නිවාස අතලොස්සක් පමණක් ඇති මේ ඉලුක්ගොඩ ග්‍රාමයෙහි අද පාසලට ගෙන්න කියන පින්තුර කොල වල පමණක් ඇති පලතුරු වලින් පොහොසත් බිමකි. සම වයසේ කොල්ලෝ ටික ක්‍රිකට් ගසන්නට, එල්ලේ ගසන්නට නැතිනම් හැනිගි මුත්තන් කරන්නට වැනි දෑ එතරම් ප්‍රිය නොකලේ ගසක ගඩා ගෙඩියක් කඩන්නට, මාළු බාන්නට, සරුංගල් යවන්නට, එදන්ඩෙන් ඇලෙන් එගොඩ වෙලා රේල් පාරට රුපියලක් තියන්න, සුවිසල් ලයිට්  කණුවක් හදන්නට බිම හාරා අතහැර දැමු වතුර පිරි වලක බැස නාන්නට වැනි ක්‍රියාකාරකම්  අර කලින් කී ක්‍රීඩා වලට වඩා 'ත්‍රිලක්' තිබ්බ නිසා. විෂඝෝර සර්පයන්ගෙන් ගහන බිමක් වුවද බොහෝ එවැනි අවස්ථාවන් මග හැරුනේ පෙර පිනකට මෙනි. 'කැටපිටිය' නමින් හැඳින්වූ තැනක හවස් වන තුරු ක්‍රිකට් ගසා කුරුම්බා ගෙඩියක් බී ලොඳ කා ගෙදරයාම සාමාන්‍ය දින චරියාවේ කොටසක් විය. එවැනි වැඩට ඉතාමත් දක්ෂ ඉන්දික (මීයා), ගයාන් (හුනා) සහ රැහේ නායකයා මෙන් කටයුතුකළ ජූඩ් (ශාන්ත) අමතක කරනු බැරි තරම්ය. අමු අඹ ලුණු කැටයක් එක්ක කෑමේ සිට කොස් තම්බා පොල් එක්ක කෑම දක්වා එහෙමත් නැතිනම් අල්ලා ගත් වෙල් මාළු බැද තැටි පාන් සමග කෑම දක්වා ජුඩාගේ වචනයෙන් කිව්වොත් 'අඹහලුවෝ' ටික එක මෙන් සැදී පැහැදී සිටියහ. ඉදුණු ගොරකා ගෙඩියක උඩ කොටස ඇඟිල්ලෙන් කඩා අමු පේර කොට්ටක අග කොටස බුරුසුවක ආකාරයට වන තෙක් තලා, ගොරකා ගෙඩිය තුලට යවා, එහි ඇති දෑ තවරාගෙන කෑම මට කිසිදා අමතක නොවන රසයක් ගෙනදුන්නකි.

අවටින් රෑ බෝවිගෙන ආවත් ගෙදරින් හොයාගෙන නොඑන්නේ, අද ඇති වීඩියෝ ගේම් එක්ක සසඳන විට ප්‍රථමික මට්ටමේ උපාංග ගෙදර තිබුනත් ඒවාට ගිජු නොවී ළමා කාලය සුන්දරව ගත කරන්නට දෙමව්පියන් අවස්ථාව දුන්නු නිසමත්ය. මුහුකුරා වැඩේදදී ලිඳක්, වැසිකිළි වලක් කැපීමේ සිට මළ ගෙදරකට මිනියට කර ගැසීම දක්වා කලේ එකා මෙන්ම එකට බන්දිමෙනි. වෙසක් පෝයට කූඩු සැදීමටත්, පොසොන් පෝයට දන්සල් දීමටත්, පන්සලේ කථින පෙරහැරට සිසිල් පැන් දන්සැලක් දීමටත් කතෝලික මිතුරන් එකතු වූ කල නත්තල් දිනට කැරොල් කීමට, පල්ලියේ නත්තල් දිනේ පෙර මැදියම්රැයේ පුජාවට සහභාගී වීමට නැතිනම් පල්ලියේ මංගල්‍ය දිනයේ 'විදී යාමට' සහභාගී වීමට බෞද්ධ මිතුරන් අමතක නොකලහ.

අවුරුද්දකට වරක් වත් එන වැසි සමයේ වෙල උතුරා වත්තට වතුර දැමුවිට කෙසෙල් කඳන් කිහිපයකින් තෙප්පමක් සාදාගෙන පදින්නේ දිග රිටක ආධාරයෙනි. ඉලුක්ගොඩට යන අබලම් පාර අනිවාර්යෙන්ම වතුරෙන් යට වන විට ඉන තෙක් වතුරේ බැස ගියේ, වතුර බැස යන තෙක් දවස් 2-3 ක් වත් මුන් ටිකව නොදක ඉන්න බැරි නිසාය. එතරම් සුන්දර කාලයක් මට දුන්න මගේ යහළුවෝ රෝත්ත මතක් කරන්නේ ඉමහත් සතුටිනි. ඉඳහිට රාත්‍රියක ඇළ අයිනේ වාඩිවී මත්පැන් වඩියක් තොල ගාන විට අතීත රස මුසු තැන් අනුෂ්මරණය කිරීම තරම් සිත සුවපත් කරවන ඖෂධයක් නොමැති තරම්ය. බොහෝ මිතුරන් විවහා පත් වී ඇතත් තවමත් එකෙකු වෙනුවෙන් කාලය වෙනකරගත හැකි යහළුවන් අතලොස්සක් ඉලුක්ගොඩ ග්‍රාමයෙහි සිටින්නේ "උඹව අපි තවම අමතක කරලා නෑ: කියන්නාක් මෙනි.

කේරල ගංජා හා කල්ලූ මලයාලම් ගුරුකම්

                                                  මේක දවස් කීයපක ඉදලා ලියන්න ඕනා කියලා හිතාගෙන හිටපු දෙයක්. කතාව මෙහෙම පටන් ගන්නම්​කො. කේරලය...