Saturday, 22 April 2017

පොලොන්නරුව, පරාක්‍රම සමුද්‍රය හා වැවට අකුණු ගැසිම






පොලොන්නරුව මගෙ හිතෙ අමතක නොවන මතක සටහන් ඇන්ද නගරයයි. හරියටම කිව්වොත් කවදාවත්ම අමතක නොවන, ජීවිතෙ ලස්ස්නම කාලෙ ගෙවුනෙ පොලොන්නරුව හා අවට ඇති පුංච්ම පුංචි ගම්මාන වලයි. අවුරුදු වලින් ගනින්නට බැරි තරම් අඩු කාලයක් ගෙවුනත් ජීවිතෙ ජීවත් කරවන්න අරුතක් මට හොයලා දුන්නු කාලයක් ඒ. එයින් වාඩාත්ම හිතට වද දුන්න මැණිකෙ නැන්දගෙ ආදරය ගැන ලියලා මම හිත නිදහස් කර ගත්තෙමි. සිදුවීම් එකින් එක පෙලගස්වා ලියන්නට තරම් නොහි අතීතෙට එක්වුනු ජීවිත මතක හාරා අවිස්සිමම හිතට සුවදායකය. 

අපේ පුංචි ඔඩිට් ෆර්ම් එක, මගෙ මුල්ම රස්සාවයි. පොඩි පඩියකට වැඩ කලත් එ රස්සාවෙ ආත්ම තෘප්තිය ඕනෑවටත් වඩා තිබුණා. මහවැලිය අතුරු ව්‍යාපෘතියක ඔඩිට් එක ලැබිලා යන්න කැමති ළමයි කියන්න කියලා සර් කිව්වාම ඉහෙ මලක් පිපුනෙ මගෙ විතරක් නෙමෙයි. මගෙ වටෙ හිටපු හොදම යහලුවන් කිහිප දෙනාත් දෙපාරක් නොසිතාම මෙ ගමනට කැමැත්ත පල කරෙ සතුට දෙගුන තෙගුන කරමින්. ඉක්බිතිව එලබෙන සතිඅන්තයෙ පොලොන්නරුව බලා පිටත් වීමට නියමිත උනත් මටත් දින්නාටත් යාන්නට ලැබුනෙ සතියකට පසුවයි.

පාන්දර 4.20ට විතර කඩවත පසු කරන 'සුදු දුව' බසයේ දින්නා කලින් කොන්දොස්තර මහත්තයයි. (එදා එහෙම උනත් අද දින්නා තම නමටම ව්‍යාපාරයක් අයිති කරගෙන සිටියි). හරියටම 8.30 ට පොළ හන්දියෙන් හරවන 'සුදු දුව' පැය හතරට පොලොන්නරු යන්නිය. තේ බොන්නට වත් නොනවත්වන ඇය එක දිගට පොලොන්නරුව බලා ඇදුනත් මගින් ගොඩවෙන නංගිලාගෙ අතින් වැලිතලප කෑල්ලක්, හැලපයක්, ලැවරියාවක් රියදුරු අයියාට හා කොන්දොස්තර අයියාට වරදින්නෙම නැත. රියදුරු අයියාට නම් ඔය කිසිවක් අතෙ නොගෑවිම බඩට දමා ගත හැක. එ ගැන පුංචි ඉරිසියාවක්ද නැතුවාම නෙමෙයි... සර්ගෙ අයියා පදිංචි වෙලා උන්නෙත් පොලොන්නරුව නව නගරයෙ නිසා අපිට නවාතැන් පහසුකම් දෙන්න ඉදිරිපත් වෙලා තිබුණෙ නොපැකිලිවමයි. ඉන් පසු අපේ නවාතැන උනේ පොලොන්නරුව නව නගරයේ එක් මායිමකයි.

සතියකින් නොදැකපු උන් ටික එක්ක ආගිය තොරතුරු කතා කරන්න නොදී මුලින්ම හරස් කැපුවෙ චාමර අයියායි.

ශොටක් දාගනින්කො දෙන්නත් එක්කම. වැවෙ නාන ගමන් කතා කරමු.

බොන ගමන් කතා කරමු එක අහලා තිබුනත් නාන ගමන් කතා කරමු අහන්නෙ පලවෙනි පාර්ට නිසා දින්නා මගෙ මූන දිහා බලුවත් වැවෙ කිව්ව නිසා ආයෙ මොකට ඒ ගැන දෙපාරක් හිතන්නද.

සුදු වැලි පාර දෙපත්තෙ අතු පතර ගණට විහිදා ගත් දැවන්ත සියඹලා හා තෙක්ක ගස්, ඈතින් ඈත වන්නට තියෙන පලු දෙකෙ ගෙවල්, උණ බම්බු දෙකෙ කඩුල්ල තරමක් නගරික අපිට කතා කරන්නට තරම් මාතෘකා වන්නට වුනෙ රුපවාහිනියෙ ටෙලියෙන් දැකපු රූප ඇත්තටම අස් ඉදිරිපිට රූප මවමින් තිබුණු නිසා. උසට උසෙ වැව් බන්ට් එක පේන මානයෙ ඇති හැම ගෙයකම සිමෙන්ති පඩියට උඩින් බිත්තියෙ කහට පැල්ලම වැව වාන් දැමු ආකාරය නිදසුන් සහිතව ගෙනහැර දැක්වූවා. වැව් බන්ට් එක උඩට නැගගත් මට තරමක් සිදි ගිය පරාක්‍රම සමුද්‍රය හා ඈතින් සමුද්‍රයේ මැදට වෙන්නට ඇති කඳු ගැටයක ඇති පුංචි පන්සලක් මුල් වරට දැක ගත හැකි උනා. එදායින් පසු නව නගරෙ උන්න හැම දවසකම උදෙ හවස නාන්න, රෙදි හොදන්න, හවසට බීර බෝතලයක් බොන්නට සමුද්‍රෙට එන එක අපි හැම දෙනාගේම පුරුද්දක් උනා.

දිනෙන් දින ගෙවිලා ගිහින් වැවෙ තරමක් මැද හරියෙන් ඇවිදගෙන යන්න පුළුවන් දුරින් පුංචි දූපතක් මතු උනා. එ පුංචි ඉඩන් කෑල්ල තමයි ඉන් පස්සෙ අපෙ සුපුරුදු ස්ථනය උනෙ. සෙට් එකෙ උන්න හීන්දාරියා නිසාම මාව අනිත් උන් ටික උස්සලා අරන් පුලුවන් තරම් දුරක් විසික් කරන එක දින චරියාවෙ කොටසක් උනා. මමත් බෙරී සිටිමට පුංචි වත් උත්සහයක නොයෙදුනෙ උඩින් විසිවි වතුරට වැටිමට බෙහෙවින්ම ආශාකල නිසා. නැවතත් පීනාගෙන දූපතට එන මම දෙතුන් වරක් වත් වතුරට විසි වෙන්නෙ අහල පහල රෙදි හොදන්නට හො නෑමට ආ ගම්මුන්ගෙ සිනා හඩ මැදයි. 

සමුද්‍රෙන් නාපු අවසන් දිනය එලඹුන, වටින් පිටින් වැහි මන්දාරම්ක් ගලා ආ දිනය මට අද වාගෙ මතකය. වෙනදා මෙන් නාන්නට යන්නට සර්ගෙ අයියා හරස් කැපුවෙ වැස්ස වටෙන්නට ලග බව මතක් කර්මින්. වැස්සෙ වැවෙ නෑම වෙනස්ම අත්දැකීමක් ගෙනන බව දන්න නිසාම අකුණු අවදානමත් නොතකා වැව පැත්ටට ඇදුනා. ගම්මුන් එක්කෙනා දෙන්නා නෑම් අහවර වෙලා ගොඩට එද්දි නාන්නට යන මෙ තරුණයන්ට අකුණු අවදානම මතක් කලෙ පොලොන්නරුවට අලුත් බව නොරහසක් නිසා. වැවේ වතුර දිනෙන් දින අඩු වෙද්දී වතුර ලගට ගෙනත් තියපු පැතලි ගල් ගම්මුන් හා එක්ව වැව් බන්ට් එක ලගින් ගෙනත් තිබ්බෙ එ ගල් වතුරට යට වී නැවත ප්‍රයොජනයට ගත නොහැකි වීම වලක්වීමටයි. වෙනදා වගෙම වතුරට පැනලා උන්නු අපිට මහා හෙනයක හඩ ඇසි තත්පර කීපයකින් 'කරන්ට් එක වැදුනා' යයි කෑගසමින් ගොඩට පැන්නේ මරණ බය දැනුනු ගානටයි. අකුණෙන් විනාඩියකට පමණ පසු වැස්ස වැටෙන්නට පටන් ගත් අතර එක දිගට නොනවත්වා සතියක් විතර වැස්සේය.

විස්තරය කී කල සර්ගේ අයියා නම් කිව්වේ සමුද්‍රේ මැද තියෙන පුංචි පන්සල තියෙන දුපත ඒ හරියේ තියෙන උසම තැන නිසා අකුණු සන්නයකයක් මගින් අකුණ වැව පතුලට මුදා හරින නිසා අකුණේ සැර අනුව වතුරේ පැතිරිය හැකි බව හා ගම්මුන් කිහිප දෙනෙක්ම වැස්සේ වැවේ නා අපි වාගේම ලාවට අකුණු වද්දගෙන ඇති බවත්ය.

Sunday, 2 April 2017

කෙසෙල් කැන විසින් හොරාව වැට පැන්නීම



[මෙය මම කලකට ඉහතදී ලිව්ව කතාවක් වැරදි අඩුපාඩු සාදා නැවත පලකිරීමකි]

ගයාන් නින්දෙන් ඇහැරී ඔරලෝසුව දෙස බැලුවිට එහි පාන්දර 2.30 ලෙස සටහන්ව තිබුණා. තම පපුවට තුරුළු වී නිදන ලක්මාලිගේ ලය මඩල රිද්මයකට උස පහත් වීමෙන් ඇය තද නින්දේ බව පසක් කරගත් ගයාන් ඇයට නොදැනෙන්න ඇඳෙන් බැස්සේ නින්ද අහලකවත් නොවුන නිසා. කොපි උගුරක් සාදාගෙන සාලයට පැමිණ දුම් වැටියක් දල්වා ගත්තේ පෙර දින රැයෙහි සිදුවූ යම් සිදුවීම් පෙළෙහි නොතේරෙන තැන් කිහිපයක්ම ලෙහා ගනිමටයි. පරිසරයේ ඇති නිහඬ බව බිඳින්නට, බාදා කරන්නට කවුරුවත්ම නොමැති වීම ගැන ගයාන් බෙහෙවින්ම සතුටු වුනා.

අවුරුදු 02 ට පෙර අතිනත ගත්ත ලක්මාලි හෙදියකි. මෘදු මොලොක් ගතිගුණ උපතින්ම උරුම කරගත් ඈ දඟකාරියකට වඩා කෝඩු කාර පෙම්වතියක්ම වුනා. ගයාන් බෙහෙවින්ම ප්‍රිය කලේ එයටයි. ආලිංගනයෙහි මෘදුව හැසිරෙන ඕ ගයාන්ගේ උණුසුම තවරා ගන්නට බෙහෙවින්ම ප්‍රිය කලා. එහි ආදරය අතුරුවේ ඔහුව මුසපත් කරවන නියාවෙන්ම මිස, වෙන කිසියම් දෙයක් එහි ගැබ් නොවූ බව ගයාන් හොඳින්ම දැන උන්නා. එත් පෙර දින රාත්‍රී ආලිංගනයේහි ඇයගේ හැසිරීම බෙහිවින්ම ප්‍රවේගකාරී වුනා. මින් පෙර අත් විඳ නැති තැන් ස්පර්ශ කරන්නට ගයාන්ටත් පෙර ලක්මාලි මුල් පියවර තබා තිබුණා. යම් තැනකදී ක්ෂණයකින් අගේ මුවින් පිටවූ වදනකින් ඔහුගේ හිත සසල උනේ ඈ පිළිබඳව අදහසකින් නොව මින් පෙර එය අසා ඇති හුරු පුරුදු කමක් දැනුන නිසා. ගයාන් ඒ ඔස්සේ ඉව ඇල්ලුවා.

ගයාන් සහ ලක්මාලි විවාහ වී කුලී නිවසට පදිංචියට පැමිණියේ රජයේ රෝහලක හෙදියක් වූ ඈ ණයක් ගෙන ඔහුට පිය උරුමයෙන් ලද ඉඩමේ නිවසක් තනා පදිංචි වීමටයි. එයට ගයාන්ට වඩා බෙහෙවින්ම උත්සුක උනේ ලක්මාලියි. දෙදෙනාම රැකියාවෙහි නියැලෙන නිසාත් ලක්මාලිට රෑ වැඩ මුර අනිවාර්‍ය නිසාත් වැඩ නිමවී එන ගයාන් ඉක්මනින් ඇඳුම් මාරු කර කුස්සියට එන්නේ ඇයට උදව් කරන්නයි. එය උදව්වකට වඩා ගයාන්ගේ හිතේ ඈ කෙරෙහි වූ ස්නේහය නිසාම කල දෙයක් උනා. ඔය අතරදියි ගයාන්ගේ පියාගෙන් ඇරයුමක් ලැබුනේ ඔහු සමග පදිංචියට එන ලෙසට. ලක්මාලි එක හෙලාම විරුද්ධ වුවත් ගයාන්ගේ මවගේ වියෝවෙන් පසුව පියා තනිව ජීවත් වන නිසාත්, මුදල් ඉතිරිය නිසාත් ලක්මාලිට ගයාන්හට අවනත වන්නට සිදු උනා.

ගයාන් තවත් දුම් වැටියක් දල්වාගෙන ඉදිරි පස දොර හැර පෝටිකෝවේ ඇති පුටුවට බර වුනා. අවස්ථාවට යම් අඩුපාඩුවක් දැනුනෙන් වොඩ්කා බාගයක් හා වීදුරුවක් රැගෙන විත් නැවතත් පුරුදු පුටුවටම බර උනා.

දෙපල එක්ව රාත්‍රී කෑම වේල පිළියෙල කරමින් උන්නේ පෙර මෙන් නොව, පියාට යම් තාක් දුරකටවත් හොඳ ආහාර වේලක් පිළියෙල කීරීමට දෙදෙනාම උත්සුක උනා. ගයාන්ගේ පියාගේ අදහස වුයේ මුළුතැන්ගෙහි කටයුතු ලක්මාලිගේ දෝතින්ම පමණක් සිදුවිය යුතු බවයි. එය රාත්‍රී කෑම මේසයේදී පියාගෙන් දෙදෙනාට ඉදිරිපත් වුනා. ලක්මාලිට වඩා ගයාන් ඉන් බොහෝ තැවුනා. කේන්තිය පාලනය කරගන්නට නොහැකි උන ඔහු පියා සමඟ බහින් බස් වුනා. ගයාන්ගේ කරුණු දැක්වීම ඉතාමත්ව සාර්ථක උනත් පියා වරද බාර ගෙන පරාජය පිළිගන්නට සුදානම් උනේ නෑ. අවසානයේ පියා විසින් නිවසෙන් පිටවීමට දැනුම් දීමෙන් පසුව රාත්‍රී කෑම වේල අවසන් උනා. ගයාන් කිසිවක් සිදු නොවූ ලෙසට හැසිරෙන්නට උත්සහ කලත් ලක්මාලි ඉන් බෙහෙවින්ම කම්පාවට පත් වෙලයි සිටියේ.

එදා කෑම මෙසේයේදී සිදුවූ සිදුවීමෙන් පසු ලක්මාලිගේ සහ පියාගේ කැලබිම හා හැසිරීම ගයාන්ට ප්‍රශ්නාර්ථ පමණක් ඉතිරි කළා. දිනක් දෙකක් නොව කිහිප දිනක්ම ඈ නියමිත වෙලාවට පෙර වැඩමුරය අවසන්ව නිවසට පැමිණ තිබුණා. ගයාන් ඒ බව දැනගත්තෙත් නිවසට අඩිය තිබ්බටත් පසුවයි. ටික දිනකින් පියාගේ දැනුම් දීම හකුලාගෙන තිබුණා. එයද ඔහුට දැනගන්නට ලැබුනේ ලක්මාලිගෙන්මයි. ගයාන්ගේ මල්ලිට ලියා තිබුන මහා ගෙදර ගයාන්ගේ නමටත්, ගයාන්ගේ නමට ලියා තිබුන ඉඩම මල්ලිගේ නමටත් ලියන්නටත් පියා කටයුතු කර තිබුණා. ඒ ගැන කතා කල විට ලක්මාලිගේ මුවෙහි ඇදුණු සිනහව අදටත් ගයාන්ට ආගන්තුකයි. ගයාන්ගෙන් ලද ආදරය ලක්මාලිව සෙමින් යතා තත්වයට පත් කරමින් තිබුණා. තිබු දුරස්බව දුරස්කරමින් දෙදෙනා නැවත පෙමින් වෙලුනත් පිය-පුතු සම්බන්ධතාවය පෙරටත් වඩා පලිදු වූ එකක්ම වුනා. මේ සිදුවීම් පෙළ එකිනෙක ගැලපි සිදුවන්නට අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගත්තා.

ඈ තමාගේ නින්ද අහිමි කර සුවට නිදන්නීය. එය ඔහුට අපුලකට වඩා ආශ්වාදයක් ගෙන දුන්නේ හිතත් එක්ක තනි වෙන්නට ලද අවස්ථාව නින්දට වඩා වටිනා නිසයි. ගයාන් මේ හිමිදිරියේ දුම් වැටි කිහිපයකටත්, වොඩ්කා වඩි 3-4 වගකියා සිටියා. හිත කොහේ කොහේ අතරමං වෙනවද කියා ඔහු දැන උන්නේ නැහැ.

යම් දිනක පුංචි ගයාන් පාසැල් ඇරී අමතර පංති නොයා මගහැර ගෙදර පැමිණියේ මවට වැඳ හෝ සමාව ඉල්ලන්නට සිතාගෙනය. පියාගේ බයිසිකලය නිවසේ ඉදිරියේ නවතා තියෙනු දැක ගයාන්ගේ දෙපා පණ නැති බවක් දැනුණා. "අද තාත්තා කලින් ඇවිත්" පුංචි ගයාන්ගේ හිත යකාගේ කම්මල වගේ, මන්ද පේර කොටු පාර නොවරදින නිසා. සෙමින් දොර විවර කර නිවසට පය තිබ්බ පුංචි ගයාන් සාලය හරහා ශබ්ද නොනැගෙන ලෙස සිය කාමරයට ගමන් කරමින් සිටියදී මව හා පියාගේ නිදන කාමරය දෙසින් ඇසුණු දෙයින් බිය වුනත් පියාත් මව සමග සිටින නිසා එය ගණන් නොගත්තේය. නොතෙරෙන දෙයකට හිත වෙහෙසනවට වඩා අමතක කර දැමීම වඩා හොඳ බව පුංචි ගයාන්ට එම මොහොතේ තේරි තිබුණි.

ගයාන්ටත් පෙර ඔහුගේ සිත විසින්ම ඔහුටත් නොකියා මේ සියල්ල අමතක කර දමා තිබුණා. මේ නොනිදන රාත්‍රියෙහි ඒ ගැන සිතන්නට ගයාන් බොහෝ සෙයින් වෙහෙසුණා. ක්ෂණයකින් මතුවූ මතකය ගයාන්ට අමතක නොවන අතුල් පහරක් එල්ල කලා. එදා සිය මවගේ මුවින් පිටවූ වදනම පෙර දින රැයේ සිය බිරිදගේ මුවින් පිටවී තිබුණා.